2009-04-18

බ්ලොග් මැරතන් 2009 අවසානය

2009 බ්ලොග් මැරතන් තරගයද අවසාන විය. නැවතත් 2010?

ස්ථුල ගිනි නිවන්නෝ

ස්ථුලභාවයෙන් යුතු ගිනි නිවන්නන් සහ හදිසි වෛද්‍ය සේවා සපයන්නන්ද අතර අධි ස්ථුල භාවය සහිත පුද්ගලයන් ප්‍රමානය Boston ප්‍රදේශයෙ නම් 77% පමන බව සමීක්ෂණයකින් හෙළිවිය.
ඔවුන් වඩා අධිකව හෘද රෝගී තත්වයන්ටද පේෂී හා සැකිලි ආශ්‍රිත හානි වලටද ගොදුරුවිය හැක. එය ඔහුගේ සගයන්ටද, ඊටත් වැඩියෙන් ඔහුගේ සේවය ලබන්නන්ටද බලපෑම් ඇතිකරයි.

බම්බු මල

ඊසානදිග ඉන්දියාවේ උණ බම්බු විශේෂයක් මල් පිපීම ආරම්භ කර ඇත. වසර 48-50කට වරක් මල් පුදින මෙහි ඵල ආහාරයට ගැනීමට පැමිණෙන මිලියන ගණන් මීයන් ඊට දින දෙකකට පමණ පසු අසල කෙත්වතු විනාශ කර දමනවා.

භාගෙට නිදි

මේ වන විට මැරතන් සහභාගිකරුවන් බොහෝ දෙනෙක් නිදි වර්ජිතව මෙයට සහභාගී විම නිසා බොහෝ තෙහෙට්ටුවෙන් ඇතිබව පෙනේ. නමුත් පර්යටනයේ යෙදෙන පක්ෂීන්ට නම් එය එතරම් ප්‍රශ්ණයක් නොවන බව පෙනේ. ඔවුන් නිදිමත විට තත්පර 5-10ක පමන කෙටි නින්දකට වැටෙන බවද, සමහර පක්ෂීන් එක ඇසක් වසා ගෙනද එයට අදාල මස්තිෂ්ක අර්ධගොලයට විරාමයක් ලබා දෙනවා. මිත්‍රයිනේ නිදිමතනම් එක ඇසක් වසා ගෙන ඉතිරි ටිකත් කරගෙන යන්න බලමු.

නයිට්‍රජන් පොහොර

මීට වසර 100කට පෙර මාර්තු මාසයේ දිනක Fritz Haberනම් රසායන විද්‍යාඥයා විසින් නයිට්‍රජන් (නෛට්‍රජන් කියල ලිව්වොත් වැරදිද?) සහ හයිඩ්‍රජන් (හෛඩ්‍රජන්?), ඔස්මියම් ලෝහ තහඩුවක් ඇතිවිට වැඩි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ප්‍රතික්‍රියා කිරීමට සලසා පොහොරක් ලෙස වැදගත් ඇමෝනියා බවට පත් කලේය. ඔහුට 1918දී ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ලැබුනු අතර ව්‍යාපාරික මට්ටමින් කෘත්‍රීම පොහොර භාවිතයත් සමඟ ඇතිවු ආහාර සුලභ තාවයෙ ඍජු බලපෑමක් ලෙස ලෝක ජනගහනය 20වන සියවසේදී බිලියන 1.6 සිට බිලියන 6 දක්වා ඉහල නැග්ගේය. එය කිසි ලෙසකින්වත් පරිසරයට වැඩදායී නොවු බවද පෙනේ

මැලේරියාව

'මැලේරියාව මර්දනය කළ අග්නිදිග ආසියාවේ එකම රට ශ‍්‍රී ලංකාවයි' යන ප්‍රවෘත්තිය දුටුවිට මට සිහිවූයේ පසුගිය දිනෙක එළිදැක්වූ මැලේරියා ලෝක සිතියමයි. ලෝකයේ බොහෝ රට වලට විශේෂයෙන් අප්‍රිකානු රට වලට එය තවමත් බරපතල තත්වයකි.

ඌෂ්ණෙ

මේ දිනවල අවට පරිසරය, ඉතා උණුසුම් මෙන් දැනේ. ශරීරයේ උෂ්ණත්වය 37°C පමණ වුවද අවට උෂ්ණත්වය එම උෂ්ණත්වයට ආසන්න වූ විට අධික අපහසුතාවයක් දැනේ. එසේ වනුයේ අප ශරීරය නියත උෂ්ණත්වයක පවත්වා ගැනීමට ඉවහල්වන ස්වේදය වාෂ්පීභවනය, ප්‍රශ්වාස වාතය හා උණුසුම් රුධිරය වඩාත් සම මතුපිටට ආසන්නව ගැලීමට සැලසීම වැනි ක්‍රියාමාර්ග අවට උෂ්ණත්වය 21°C පමන විට ප්‍රශස්ත අයුරින් ක්‍රියාකලද, අවට උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට ආසන්න වූ විට ප්‍රශස්ත අයුරින් ක්‍රියා නොකිරීමයි. එවිට මහත් අපහසුවක් දැනේ.

ගෑණු නහය

මේ නමින් වූ සටහනක් දැක මා ටික කලකට පෙර කියවූ පර්යේෂනය සටහනක් මට සිහිවුනා. එයට අනුව සැබවින්ම ගැහැණුන්ගේ නාසයේ සංවේදනය පිරිමිනට වඩා තියුණු බව තහවුරු වී තිබේ. එහිදී ස්වේදය අඩංගු කුප්පි ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පරීක්ෂාකිරීමට සැලැස්වූ අතර, ඒවායේ සුවඳෙහි තීව්‍රතාවය එකම බව දෙපාර්ශවයම පිළිගන්නා ලදී ඉන්පසු සුවඳ විලවුන් වර්ග 32 සමඟ එය මිශ්‍ර කර නැවත ඔවුනට පරීක්ෂා කිරීමට සලස්වන ලදී. එහිදී පිරිමින්ට සුවඳ විලවුන් වර්ග 19 සමඟම මිශ්‍රවු ස්වේදය හඳුනාගැනීමට නොහැකි වුවද, ගැහැණුන්ට හඳුනාගැනීමට නොහැකි වුයේ එසේ මිශ්‍රකළ සාම්පල දෙකක් පමණි.

තේ වලින් පිළිකා

ඉතාම උණුසුම්ව තේ පානය කිරීම උගුරෙහි පිළිකා හට ගැනීමට හේතුවිය හැකි බව සොයාගැනේ. තරමක් උණුසුම් හෝ ඇල්මැරුණු තේ (65°Cට අඩු) පානය කරන්නන්ට සාපේක්ෂව, අධික ලෙස උණුසුම් තේ (70°C) පානය කරන්නන් 8 ගුණයකින්ද, උණුසුම් තේ (65-69°C) පානය කරන්නන් 2 ගුණයකින්ද අන්නස්‍රෝතයේ පිළිකා අවදානම ඉහළ දැමේ. නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත. එමෙන්ම අළුත වත් කර ගත් තේ කෝප්පයක් පානයට පෙර විනාඩි 4ක්වත් සිටීම උගුරේ සෞඛ්‍යයට සුදුසු වේ.

මලින්ත සොයුරාගේ මිත්තණිය වෙනුවෙන්

2009-04-17

ලොව විශාලතම ජීවියා

වනාන්තරයක් ලෙස දිස්වුවත් Pando ලෙස හැඳින්වෙන මෙය එකම පොදු මූල පද්ධතියකින් ඉහලට නැගුනු කඳන් පමණක් බව කියැවේ. එය බරින් කිලෝ ග්‍රෑම් මිලියන 6ක් පමණද, වසර 80,000ක් පමණ පැරණි බවද සැලකේ.

කසළ ඊ ලිපි

2008 වසරේ කසළ ඊ ලිපි (junk email/ spam) ට්‍රිලියන 62ක් හුවමාරු වූ අතර ඒ සඳහා නිවාස මිලියන 2.4ක් සඳහා වසරකට ප්‍රමානවත් විදුලි බල ප්‍රමානයක් වැයවී ඇති බවද, කාර් රථ මිලියන 3.1කින් පිටකෙරෙන හරිතාගාර වායු ප්‍රමානයක් ඊට අදාලව පිට කෙරෙන බවද McAfee පවසයි.

Google Mapහි වෙබ්කැම්

Google Mapහි වෙබ්කැම් ලේයරයක් අලුතින් එක් කර තිබේ. එහි තෝරා ගන්නා වෙබ්කැමයෙහි අවසන් විනාඩි 15 තුල ගත් දසුනක් දැකගත හැක. සබැඳියක් භාවිතයෙන් වෙබ්කැමය නැරඹීමටද හැකිය.

පෙනහළුවක් තුල ගසක්

කුඩාකල විජය පත්‍රයේ 'මකාගේ යලක්', මේ පුවත දුටුවිට මට සිහි විය. මිනිසකුගේ පෙනහළුවක් තුල fir (දේවදාර) ගසක් වැඩීතිබෙනු පසුගිය දිනෙක සොයා ගැනිණි. එය 5cm පමණ වැඩී තිබිණ.

තාරකා ශ්‍රාස්ත්‍රඥයන් ගේ මැරතන් තරඟය

අපේ මැරතන් වගේම තාරකා ශ්‍රාස්ත්‍රඥයන් අතරත් මැරතන් තරඟයක් තිබේ. එය Messier Marathon ලෙස හැඳින්වේ. 18වන සියවසේ Charles Messier නම් තාරකා ශ්‍රාස්ත්‍රඥයා සොයාගත් වස්තූන් 100 අතරින් හැකිපමන හඳුනාගැනීම මෙහිදී සිදු කෙරේ. ඉහත ඇත්තේ 2008 අප්‍රේල් 19 දින එසේ පැවැත්වු තරඟයක පැය 6ක් පුරා නිරාවරනය කර ලබාගත් ඡායාරූපයකි.

සිංහල බ්ලොග් මැරතන් 2009

ආයුබෝවන්! ඔන්න මෙවරත් සිංහල බ්ලොග් මැරතන් තරඟයට මමත් සහභාගී වෙනව. 2008 නම් සුදුනම් වී සහභාගි වුවත් මෙවරත් කිසිම සූදානමකට ඉඩ ලැබුනේ නෑ. කමක් නෑ හිතට එන එන දේ ලියල බලමු
This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide for help